මුහුදු කැස්බෑවන් සත්ත්ව ලෝකයෙන් තුරන් වී යාවිද?

By Muthu Tharanga Rajapakse

වසර මිලියන සියයකට අධික කාලයක සිට පරිණාමය වෙමින් පැවත එන මුහුදු කැස්බෑවන් ලොව පුරා ප්‍රධාන වශයෙන් විශේෂ හතක් හඳුනාගත හැකිය. ඉන් කැස්බෑ විශේෂ පහක්ම ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ හඳුනා ගත හැක. ඉතා දීර්ඝ ආයු කාලයක් හිමි මුහුදු කැස්බෑවන් ස්වභාවික සම්පත් සං‍රක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංගමයේ(IUCN) රතු දත්ත වාර්තාවට අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ජීවත් වන කැස්බෑ විශේෂ සියල්ලන්මද ඇතුළුව දේශීය මෙන්ම ගෝලීය වශයෙන්ද තර්ජිත සත්ත්වයින් ලෙස හඳුනාගෙන ඇත.

අවුරුදු තිහක් පමණ වන විට බිත්තර දැමීම සඳහා ශරීරය හැඩගැසෙන ගැහැණු කැස්බෑවන්, පෘථිවි චුම්බක ක්ෂේත්‍රය පදනම් කරගනිමින් ඔවුන් බිහි වූ වෙරළ තීරයටම බිත්තර දැමීම සඳහා පැමිණෙන බව අනාවරණය වී ඇත. නමුත් වර්තමානය වන විට එම ස්ථාන වල සිදු වී ඇති නව ඉදිකිරීම්, වෙරළ දූෂණය වැනි දෑ ඔවුනට තර්ජනයක් වී ඇත. කැස්බෑ පැටවකු බිත්තරයකින් නිදහස් වීමට දින හතලිස් පහකට ආසන්න කාලයක් ගතවන අතර මෙම කාලය අතරතුර සිදුවන වෙරළ ඛාදනය වැනි වෙරළබඩ වෙනස් වීම් තුළින් ද බිත්තර විනාශ වීමේ අවධානමක් පවතී.

අතීතයේදී කැස්බෑ මාංශ සහ බිත්තර වෙළඳාම සාමන්‍ය පරිදි සිදු විය. වර්තමානය වන විට එය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබූ නමුත් මේ වන විටත් පෞද්ගලික වාසිය තකා ඇතැමුන් වෙරළ ප්‍රදේශ වල ගැවසෙමින් කැස්බෑ බිත්තර සොරකම් කර විකිණීමට පෙළඹී තිබේ. ඒ සඳහා නිසි නීතිමය ක්‍රියාමාර්ග නිසියාකාරව ක්‍රියාත්මක නොවීමත් මෙවැනි තත්තව මගහරවා ගැනීමට නොහැකි විමට තවත් එක් හේතුවකි.

කැස්බෑවකු ආසන්න වශයෙන් වරකට බිත්තර 80-150 අතර ප්‍රමාණයක් මුදාහරින නමුත් විශාල කැස්බෑවකු ලෙස වර්ධනය වී ඉතිරිවන්නෙ 1/1000 ක් වැනි ඉතාමත් සීමිත සංඛ්‍යාවකි. ඒ සඳහා ඉහත සඳහන් වූ හේතූන්ට අමතරව වෙරළ තීරයේ කෘතීම ආලෝකකරණය, දේශගුණික විපර්යාසවල බලපෑම්, සාගරයට මුදාහරින අපද්‍රව්‍ය, නාවික තෙල් කාන්දු වීම්, සාගර පත්ලේ කැණීම්, මත්ස්‍ය කර්මාන්තයේදී භාවිතා කරන මසුන් ඇල්ලීමේ දැල් වැනී දෑ හේතුවෙන් කුඩා කැස්බෑ පැටවුන්ටද විශාල කැස්බෑවුන්ටද නිරන්තරයෙන් හානි සිදුවනවා මෙන්ම ඔවුන්ගේ අහාර රටා, වාසස්ථාන සහ උෂ්ණත්වය මත සිදුවන කැස්බෑවන්ගේ ලිංගිකත්වයේ වෙනස් වීම් සඳහාද බලපෑම් එල්ල කරනු ඇත.

අලුත උපන් කුඩා කැස්බෑවන් රාත්‍රී කාලයේදී චුම්බක ක්ෂේත්‍රය පදනම් කරගනිමින් පැය 48ක් පුරාවට එක දිගට පිහිනීම’Swimming Frenzy’ සිදු කරන බවට පරීක්ෂණාත්මකව තොරතුරු ඉදිරිපත් වෙමින් පවතින අතර ඒ අනුව බිත්තර වලින් එලියට පැමිණෙන කැස්බෑ පැටවුන් මුහුදට නිදහස් කිරීම ප්‍රමාද වුවහොත් ‘Swimming Frenzy’ අහිමි වීමත් සමග ඔවුන්ගේ පිහිනීමේ ජවය දුර්වල වීමට ඉතා ඉහළ ප්‍රවණතාවයක් පවතී. එමෙන්ම දහවල් කාලයේදී ඔවුන් මුහුද වෙත මුදා හැරීමේදී විලෝපිකයින්ගේ ගොදුරු බවට පත්විම සහ නොයෙකුත් අනතුරු සඳහා මුහුණ දීමටද සිදු වනු ඇත.

කෙසේ වුවත් මුහුදු කැස්බෑවන් ඉතාමත් වැදගත් හා වටිනාකමක් උසුලන සත්ත්ව කොට්ඨාශයකි. සදාචාර සම්පන්න සහ සිතීමේ බුද්ධිය නොමද වශයෙන් ඇති මිනිසුන් වශයෙන් වඳවී යාමේ තර්ජනයට ලක් වී සිටින මුහුදු කැස්බෑවන් ආරක්ෂා කිරීම උදෙසා කටයුතු කිරීමට අප සියල්ලන්ම වගබලාගත යුතු නොවේ ද?

Leave a Reply

The Pearl Protectors

The Nets Changing Our Seas

By: Saduni Rukshala Sri Lanka’s coastal waters are rich in biodiversity and are vital to both local communities and the fishing sector. Shallow coastal waters

Read More »
The Pearl Protectors

කැස්බෑ-මිතුරෝ: කැස්බෑවන් සහ ලංකික ජනයා අතර සම්බන්ධතාවයේ විකසනය

රෝජී ඒකනායක කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ” වැනි ජනප්‍රිය කියමන් තුළින් පවා ඇඟවෙන්නේ අතීතයේ සිට කැස්බෑවා යන සත්වයා පිළිබඳ ලංකාවාසී ජනතාවට යම් අවබෝදයක්

Read More »