කැස්බෑ-මිතුරෝ: කැස්බෑවන් සහ ලංකික ජනයා අතර සම්බන්ධතාවයේ විකසනය

රෝජී ඒකනායක

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ” වැනි ජනප්‍රිය කියමන් තුළින් පවා ඇඟවෙන්නේ අතීතයේ සිට කැස්බෑවා යන සත්වයා පිළිබඳ ලංකාවාසී ජනතාවට යම් අවබෝදයක් තිබී ඇති බවයි. වර්තමානය වන විට මිනිසුන් සහ කැස්බෑවන් අතර තිබූ සම්බන්ධතාවයේ සැලකිය යුතු වෙනසක් සිදු වී ඇති නමුත් අදටත් මෙම සත්ත්ව කොට්ඨාසයට විශාල ඓතිහාසික, සංස්කෘතික, සමාජයීය මෙන්ම ආර්ථිකමය වැදගත්කමක් පවතී.

ශ්‍රී ලංකාව අවට මුහුදු තීයර තම වාසස්ථානය කරගත් මුහුදු කැස්බෑ විශේෂ පහක් සිටින අතර පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට අනුව අනුරාධපුර යුගයේ පටන් ම ඇතැම් ජන කොටස් මෙම මුහුදු කැස්බෑවන් ආහාරයට ගැනීම පිණිස දඩයම් කර ඇත. එසේම ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ මෙම සතුන්ගේ අලංකාර කටුව භාවිතා කර විවිධ නිෂ්පාදන සෑදීමට ද එකල මිනිසුන් පුරුදු වී සිටි බවයි. බුලත් සහ දුම්කොළ හෙප්පු, ආභරණ පෙට්ටි, ලේඛන පුවරු, පනා වැනි විවිධ  භාණ්ඩ රැසක් සෑදීමට ‘පොතු කැස්බෑවා’ (Hawksbill Turtle) නමැති කැස්බෑ විශේෂයේ කටු ප්‍රධාන වශයෙන් භාවිතා කර ඇති බවට සාක්ෂි හමු වී තිබේ. කැස්බෑවාගේ කටුව ගලවා දැමූ විට එය නැවත ජනනය වන බවට එකල මතයක් පැවතී ඇති බැවින් කටුවෙන් වෙන් කළ කැස්බෑවන් බොහෝ විට නැවත මුහුදට මුදා හැර තිබේ.

ඡායාරූප සැකැස්ම: දිනෙත් සංදීප

රෝමන් අධිරාජ්‍ය වැනි විදේශ රාජ්‍යන් සමග වෙළඳාම් කිරීමේදී කැස්බෑ නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් තිබු බවත් හෙළි දැක්වේ. එසේම තිස්සමහාරාමය, අකුරුගොඩ ප්‍රදේශයන්ගෙන් හමු වී ඇති පුරාණ කාසි සමූහයකම ඉබි සහ කැස්බෑ රූප නිරූපණය වී  ඇති අතර ඒ තුළින් පෙනී යන්නේ අප රටේ නාවික හා වාණිජමය ක්ෂේත්‍රයේ සංඛේතයක් ලෙසත් මුහුදු කැස්බෑවුන්ට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබු බවයි.

වර්තමානය වන විට මෙම මුහුදු කැස්බෑවන් සංචාරක ක්ෂේත්‍රය තුළ ප්‍රධාන ඉපයුම් මාර්ගයක් ලෙස යොදාගෙන ඇත. ඒ අතර විවිධ සිහිවටන, ඇඳුම් පැළඳුම්, ආභරණ වැනි දෑ සකස් කිරීමේදී ප්‍රධාන සංකල්පයක් ලෙස මුහුදු කැස්බෑවන් යොදා ගන්නා අතරම මුහුදු කැස්බෑවන් දැක බලා ගැනීමේ අරමුණින්ම වෙරළබඩ කලාප කරා ඇදී එන සංචාරකයින් ද බොහෝ සේ දැක ගත හැකිය. එම ඉල්ලුමට ප්‍රතිචාරයක් ලෙස මෑත කාලයේ ‘කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන’ නමින් ප්‍රචලිත වූ ව්‍යාපාර රැසක් ද බිහි වී ඇත. කෙසේ වෙතත් මෙවැනි ව්‍යාපාර තුළින් කැස්බෑවන්ගේ ස්වභාවික ජීවන රටාවට නිසැකයෙන්ම බාධා එල්ල වෙමින් පවතී.

ඡායාරූප: Zoshua Colah (unsplash.com)

විවිධ කාලගුණික, දේශගුණික විපර්යාස මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද අද වන විට කැස්බෑවන් වඳවී යාමේ තර්ජනයට ලක් වී ඇත. මුහුදු කැස්බෑවන් දඩයම් කිරීම, අහඹු ලෙස මාළු දැල් වැනි ධීවර උපාංග වලට හසු වීම, ජෙලි මසුන් යැයි රැවටී පොලිතීන්  වැනි කැලි කසළ ආහාරයට ගැනීම නිසා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිරිහීම, වාසස්ථාන විනාශ වීම වැනි දෑ හේතුවෙන්  කැස්බෑ ජනගහණය තව දුරටත් හීන වී යාම විශාල ගැටළුවක්ව පවතී.  ශ්‍රී ලංකාවේ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත වැනි නීති රීති මගින් කැස්බෑවන්ට නීතිමය වශයෙන් ආරක්ෂාව සපයා ඇති නමුත් ප්‍රායෝගිකව මෙම සතුන් රැක ගැනීම දුෂ්කර කාර්යක් බවට පත්ව ඇත. ස්වභාවධර්මය විසින් ලොවට තිළිණ වූ මෙම අපූරු සතුන් ආරක්ෂා කිරීමට මෙන්ම අනාගත පරපුරටද ඔවුන් එලෙසින්ම දායද කිරීමට අප කෙසේ හෝ මුහුදු කැස්බෑවන් සං‍රක්ෂණය කිරීම සිදු කළ යුතුව ඇත.

ඡායාරූප: trailoka.com

ඡායාරූප: news.mongabay

Leave a Reply

The Pearl Protectors

The Nets Changing Our Seas

By: Saduni Rukshala Sri Lanka’s coastal waters are rich in biodiversity and are vital to both local communities and the fishing sector. Shallow coastal waters

Read More »
The Pearl Protectors

කැස්බෑ-මිතුරෝ: කැස්බෑවන් සහ ලංකික ජනයා අතර සම්බන්ධතාවයේ විකසනය

රෝජී ඒකනායක කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ” වැනි ජනප්‍රිය කියමන් තුළින් පවා ඇඟවෙන්නේ අතීතයේ සිට කැස්බෑවා යන සත්වයා පිළිබඳ ලංකාවාසී ජනතාවට යම් අවබෝදයක්

Read More »